සෞඛ්‍යය

ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2 සිට ඉවත් වීමට GMOA තීරණය කරයි

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද “ආරෝග්‍යා” නව ව්‍යාපෘතියෙන් මාර්තු 2 වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.

 

තම සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම්වලට මේ දක්වා රජයෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

 

එසේම, රෝගී ජනතාවට අවම අපහසුතාවයක් ඇතිවන අයුරින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවත්, ගැටලුව රෝගීන් සමඟ විසඳා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

 

තම සංගමය මේ සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලී බවකින් කටයුතු කළද, ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා,

 

”මේ වෙනකොට අපි දන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක නියැලිලා ඉන්නවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවේ නියැලිලා ඉන්නේ මහජනතාවට සහ මේ රෝගී ජනතාවට අවම හානියක් සිද්ධ වෙන විදිහටත් රජයට අවශ්‍ය පණිවිඩය දැනෙන ආකාරයෙන් ලබා දෙන විදිහටත්. නැතුව අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න බැරුව හරි, මීට වඩා ලොකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න බැරිකමක් නිසා නෙමෙයි.

අපිට අවශ්‍ය නෑ මේ රෝගී ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය විසඳගන්න. අපිට අවශ්‍යවෙලා තියෙන්නේ රජයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යවරයාත් හා වගකිවයුතු පාර්ශවයන් සමග මේ ගැටළුව විසඳගන්න. නමුත් කියන්න කනගාටුයි අපි මේ විදිහට පුළුවන් උපරිම ආකාරයට නම්‍යශීලී වෙලා කටයුතු කරද්දී රජයේ පාර්ශවයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඉතාමත්ම උද්දච්ච විදිහට තමා වැඩ කරන්නේ.

23,000කට අධික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න ඒකමතිකව එක හඬින් අපි ඉදිරිපත් කරනවා රජයකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට, මේ ප්‍රශ්න විසඳන්න කියලා. සමහර ඒවා ගොඩක් කල් ඇදි ඇදී තියෙන ප්‍රශ්න. සමහර ඒවා ආණ්ඩුවෙන්, මහ භාණ්ඩාගාරයෙන් සත පහකවත් වියදමක් යන්බේ නැතිව විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඒවා එක පෑන් පාරෙන් විසඳන්න පුළුවන්. ඉතින් මේ එකක්වත් විසඳන්නේ නැහැ… එතකොට එතනින් එහාට ගියාට පස්සේ මේ සම්බන්ධව අපි දිගටම පසුගියදා පැවතුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් කතා කරා. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සහ මේ ආණ්ඩුවේ තියෙන මේ උද්දච්ච ප්‍රතිචාරය සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියන එක පසුගිය 25වනදා තිබුණු මධ්‍යම කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.”
 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button