
හිටපු ජනපති අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට සූදානම්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලැබී ඇති කැඳවීම පිළිගන්නා බවත්, නියමිත දිනයේදී එම කැඳවීමට අනුව පෙනී සිටීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
එයාර්බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන 12 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 වර්ගයේ ගුවන් යානා 6ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින්, එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායකට නඩු පවරා තිබුණි.
මෙම විමර්ශන අතරතුර, එම මුදලෙන් කොටසක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළ බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණි.
කෙසේවෙතත්, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ තර්ජන මත තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.



