ප්‍රධාන පුවත්

ජලාශ 9ක් වාන් දමයි – පහත් බිම් වැසියන්ට අවධානයෙන් පසුවන්නැය් දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, මොනරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල, අනුරාධපුරයේ රාජාංගනය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ඇතුළු ජලාශ කිහිපයක් වාන් දමන තත්ත්වයට පත්ව ඇති බවයි.

ඒ අනුව ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, තත්ත්පරයකට ඝන අඩි 4,000කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිඔයට මුදා හැරේ. වෙහෙරගල ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කරමින් තත්ත්පරයකට ඝන අඩි 1,400කට වැඩි ජල ප්‍රමාණයක් මැණික් ගඟට නිකුත් කරයි.

මීට අමතරව රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජලය කලාඔයට මුදා හැරෙන අතර, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 5,500ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට නිකුත් කරමින් පවතී.

එසේම අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති අතර, තත්ත්පරයකට ඝන අඩි 500කට වැඩි ජල ප්‍රමාණයක් කිරිඳිඔයට මුදා හැරෙන බවද සඳහන් වේ.

වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල සහ ජලාශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව වාන් නිවේදන සහ ජල මුදා හැරීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

තවද ඉදිරි වර්ෂාපතනය සහ ජලාශ වෙත ලැබෙන ජල ප්‍රමාණය අනුව වාන් දොරටු විවෘත කිරීමේ මට්ටම් වෙනස් විය හැකි බැවින්, නිල නිවේදන පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් බවද අවධාරණය කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button