
මාර්ග අනතුරු 30%කට සුනඛයින් හේතුවක් වෙලා
මාර්ග අනතුරු වලින් සියයට 30ක් පමණ සුනඛයින් හේතුවෙන් සිදුවන බව මානසික ක්‍රම මගින් සත්ව ගහන කළමනාකරණය කිරීම් සඳහා වූ පශුවෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.
සුනඛ සපාකෑම් හේතුවෙන් ජලභීතිකා එන්නත් ලබාදීම සඳහා පමණක් වසරකට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය වන බවද ඔහු සඳහන් කළේය. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් රටේ ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් එල්ල වන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාප සහ සමාජ වගකීම පිළිබඳ අවබෝධයක් නොමැති වීම හේතුවෙන් වීදි සුනඛ ගහනය ඉහළ යන බවද ඔහු පැවසීය.
මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා යෝජිත නව පනත් කෙටුම්පත මගින් අයිතිකරුවෙකු සිටින සෑම සුනඛයෙකුම අදාළ ප්‍රාදේශීය සභාවේ අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් යෝජනා කර ඇති බව වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සඳහන් කළේය.
එමෙන්ම අයිතිකරුවෙකු හෝ බලාගැනීමට පුද්ගලයෙකු නොමැතිව වීදිවල සිටින සුනඛයන්ගේ වගකීම ප්‍රාදේශීය සභා විසින් භාරගත යුතු බවද එම යෝජනාවේ දැක්වේ.
ඒ අනුව වීදි සුනඛයන්ගේ එන්නත්කරණය සහ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් රජය වගකීම භාරගැනීම තුළින් එම සතුන් අනාථ තත්ත්වයට පත්වීම වැළැක්විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා,
“දැන් එක පැත්තකින් සුනඛයෙක් සපා කෑවට පස්සේ එන්නත් කරන්න අවුරුද්දකට යනවා රුපියල් බිලියනයක්. රටේ සල්ලි. අනිත් පැත්තෙන් රිය අනතුරුවලින් 30%ක්. මේක රටේ ආර්ථිකයට කොච්චර බලපානවද. එතකොට මේ සත්තු පාරෙ ඉන්නේ සත්තුන්ගේ කැමැත්තෙන්ද? නැහැ. මිනිස්සුන්ගේ වගකීමක් නැති ක්‍රියාදාමය නිසා, සමාජ වගකීම ගැන අදහසක් නැතිකමින් මිනිස්සු පාරට ගෙනත් දාන සත්තු තමයි මේ පාරේ වර්ධනය වෙලා ඉන්නේ. එතකොට පාරට වැටිච්ච සත්තු ටිකට තමන්ගේ තියෙන කසල ටික හරියට කළමනාකරණය කරන්නේ නැතුව පාරට විසි කරන හින්දා මේ සත්තු වැඩි වැඩියෙන් බෝ වෙලා තමයි මේ ප්රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ.
කොහොමද මේ පනත ඇතුලේ මේ ස්ථිර විසඳුම ගේන්නේ? මේකේ ප්‍රධාන විදිහට කියනවා අයිතිකාරයෙක් ඉන්න සුනඛයෙක් අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාව තුළ තමන්ගේ සතා ලියාපදිංචි කරන්න ඕනේ. පළවෙනි කාරණය. එතකොට පාරේ ඉන්න සත්තුන්ට මොනවාද කරන්නේ? අයිතිකාරයෙකුත් නැහැ, බලාගන්න කෙනෙකුත් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? ඒ සත්තුන්ගේ වගකීම ප්‍රාදේශීය සභාව ගත යුතුයි කියන එක මේ පනත ඇතුලේ පැහැදිලිව කතා කරලා තියෙනවා. එතකොට මේ පාරේ ඉන්න කිසිම සතෙක්, මේ ඉන්න කිසිම සුනඛයෙක් අනාථ වෙන්නේ නැහැ. මොකද ඒ සතාගේ එන්නත්කරණය, ඒ වගේම ඒ සතාගේ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් මේ රජය වග කියනවා. ඒක මේ ඉතාම හොඳ සංකල්පයක්.”



