දේශපාලන

පළාත් සභා ඡන්දය නොපවත්වන හේතුව සජිත් කියයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල හේතුවෙන් ආණ්ඩුව ජනමතයට මුහුණදීමට අකමැත්තක් දක්වන අතර, ඒ නිසාම පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමාව යටතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ වත්මන් රජය ජනතාව අතරට යාමට මැළිකමක් දක්වන බවයි. එම තත්ත්වය හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව පසුබට වී සිටින බව ඔහු පැවසීය.

මහ මැතිවරණයෙන් අනතුරුව පැවති පළාත් පාලන මැතිවරණය දක්වා කෙටි කාලයක් තුළ ආණ්ඩුවට ලක්ෂ 23කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අහිමි වී ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරියේදී තවත් ජනතා සහයෝගය අහිමි විය හැකි බවට ඇති බිය හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම වළක්වා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවද ඔහු චෝදනා කළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට නම් ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කළ යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, ජනතාවගේ හඬ ප්‍රකාශ කිරීමට මේ මොහොතේ තිබෙන වැදගත්ම අවස්ථාව පළාත් සභා මැතිවරණය බවද සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button