
සූර්යකුමාර් ඉන්දීය T20 පිලෙන් ඉවතට
ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන සූර්යකුමාර් යාදව්, එංගලන්තය සහ අයර්ලන්තය බලා පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි20 තරග සංචාරය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කර නොමැත.
අද (06) ප්‍රකාශයට පත් කළ සංචිතයේ නායකත්වය 31 හැවිරිදි ශ්‍රෙයාස් අයියර්ට භාරදී ඇති අතර, සූර්යකුමාර් යාදව් සංචිතයෙන් මෙන්ම නායකත්වයෙන්ද ඉවත් කර තිබීම විශේෂත්වයකි.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව පැවති IPL තරගාවලියේදී ඔහු දැක්වූ අසාර්ථක දස්කම් මෙම තීරණයට බලපා ඇති බවයි.
එසේම, දැනට 35 හැවිරිදි වියේ පසුවන සූර්යකුමාර් යාදව් මීළඟ විස්සයි20 ලෝක කුසලානය පැවැත්වෙන විට 38 හැවිරිදි වියේ පසුවනු ඇති බැවින්, ඉදිරි අනාගත සැලසුම් සහ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඉලක්ක කර නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම වෙනස සිදුකර ඇති බවද වාර්තා වේ.
මීට අමතරව ලෝක ශූර ඉන්දීය සංචිතයේ සාමාජිකයන් වූ රින්කු සිං සහ කුල්දීප් යාදව්ද මෙම සංචාරය සඳහා කැඳවා නොමැති අතර, හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිත් බුම්රාට විවේකයක් ලබාදී ඇත.
අනෙක් අතට IPL තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශී පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබේ.
ඔහුට මෙම සංචාරයේදී ජාත්‍යන්තර වරම් හිමි වුවහොත්, සචින් තෙන්ඩුල්කාර්ට පසුව ඉන්දීය පිරිමි කණ්ඩායම නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වනු ඇත.



