
කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ඩුබායි සිට මෙරටට
කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස හඳුනාගෙන ඇති අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (27) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අලුයම කටුනායකට රැගෙන එයි
හුංගම ප්‍රදේශයේදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍යව සිටි සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම කාන්තාව ඝාතනයට ලක් වූ “කජ්ජා” සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එමෙන්ම, ඝාතනය සිදුවීමට පෙර “කජ්ජා” වෙත අවසන් දුරකථන ඇමතුම ලබාදී ඇත්තේත් කෙටි පණිවිඩය යොමුකර ඇත්තේත් මෙම සැකකාරිය බවට විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත.
“බැකෝ සමන්” නමැත්තාගේ උපදෙස් මත “කජ්ජා” සහ ඔහුගේ දරු දෙදෙනා ආහාර ගැනීම සඳහා අදාළ අවන්හල වෙත උපක්රමශීලීව කැඳවාගෙන ගොස් ඇත්තේ ද ඇය විසින් බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔවුන් එලෙස අවන්හලට පැමිණ සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකාරිය පසුව බන්ධනාගාරගත කර තිබිණි. ඇය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගොස් තිබේ.
ඒ අනුව, අද අලුයම 5.20ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-226 දරන ගුවන් යානයෙන් සැකකාරිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඇය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.



