උණුසුම් පුවත්

කාවන්තිස්සගේ මරණය ගැන සොයන්න ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්

 

කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සහ වන අලි සුබසාධනය වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

සියඹලන්ගමුව ප්‍රදේශයේදී මියගිය කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතු වූ කරුණු සොයා බැලීම මෙන්ම වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීමද මෙම කමිටුවට පැවරී ඇත.

හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු ඇතුළත් වෙති. ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා කමිටුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.

කාවන්තිස්ස ඇතාගේ මරණයට බලපෑ සෘජු හා වක්‍ර හේතු හඳුනා ගැනීම, ප්‍රතිකාර ලබාදීමේදී අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සහ ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම කමිටුවේ ප්‍රධාන වගකීම් අතර වේ.

මීට අමතරව, වන අලි සුබසාධනයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටි රාමුවක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමද සිදුකෙරේ. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමටද කමිටුවට බලය ලබාදී තිබේ.

අදාළ විමර්ශනයේ අවසන් වාර්තාව, වන අලි සුබසාධනය සඳහා යෝජිත සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ යෝජනා ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button