උණුසුම් පුවත්

මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම් නතර කරන්නැයි පරිසර අධිකාරියෙන් ලිඛිත දැනුම්දීමක්

යාපනය මණ්ඩතිව් දූපතේ ඉදි කෙරෙමින් පවතින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ.

ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාරිසරික බලපෑම් වාර්තාව (EIA) ලබාගෙන නොමැති බව අනාවරණය වීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

යාපනයේ මණ්ඩතිව් දූපතේ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2025 සැප්තැම්බර් 01 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

දිගුකාලීන සංවර්ධන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත “ක්‍රීඩා නගරයක්” බවට පත් කිරීමේ වැඩසටහනක්ද එහිදී ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව පිහිනුම් තටාකාංගණයක්, ගෘහස්ථ ක්‍රීඩාගාර, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන ඇතුළත් ව්‍යාපෘතියක් ලෙස මෙය සැලසුම් කර ඇත.

මෙම ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදිකිරීමට නියමිත අතර පළමු අදියර යටතේ තරග පැවැත්විය හැකි මට්ටමේ ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාර ඉදිකිරීමට සැලසුම් කර ඇත. දෙවන අදියරේදී ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටි, තෙවන අදියරේදී අනෙකුත් ප්‍රේක්ෂකාගාර, අවසන් අදියරේදී විදුලි ආලෝක පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිතය.

වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ලබා දුන් භූමියක ඉදිවන මෙම ක්‍රීඩාංගණය තුළ 40,000කට ආසන්න ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමේ හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වේ.

එසේම දිවා/රාත්‍රී ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි පහසුකම් සහිත ශ්‍රී ලංකාවේ පස්වන ක්‍රීඩාංගණය ලෙසත්, සමස්තයෙන් ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙසත් මෙය වාර්තාගත වීමට නියමිත බව පැවසේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button