ප්‍රධාන පුවත්

NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම කඩිනම් වෙයි

NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අදාළ ඉදිරි පියවර මේ වන විට සැලසුම් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේදී කාර්ය මණ්ඩලය අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු කරුණු පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්

ඒ අනුව, ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම සඳහා අවශ්‍ය කාලරාමුව සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ NISD ආයතනය රාජ්‍ය නොවන ආයතනයක් නොව රජයට අනුබද්ධ රාජ්‍ය ආයතනයක් වන බැවින්, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සම්බන්ධ නීතිමය රාමුව ඒ සඳහා අදාළ නොවන බවයි.

ඒ වෙනුවට 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ සඳහන් නීත්‍යානුකූල විධිවිධාන අනුව මෙම අනුබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිළිබඳව අවධානය යොමු කර ඇති බවද ඇය පැවසුවාය.

එමෙන්ම ආයතනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග සහ දැනට සේවයේ නිරත කාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරගත හැකි ආකාරය පිළිබඳ කරුණු ද ශක්‍යතා අධ්‍යයන වාර්තාවට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් 2025 මාර්තු 14 වැනිදා අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, අනතුරුව 2026 සැප්තැම්බර් 23 වැනිදා පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා රැස්වීමේදී NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ශක්‍යතා අධ්‍යයනයෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ සනාථන සභාව (Senate) සහ අදාළ පීඨ සමඟ සාකච්ඡා කර අභ්‍යන්තර තීරණවලට එළඹීමට නියමිතය.

එම තීරණ දැනුම්දීමෙන් පසුව අනුබද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාළ ඉදිරි පියවර ක්‍රියාත්මක කළ හැකි බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button