ප්‍රධාන පුවත්

NDB බැංකු මූල්‍ය වංචාව: මහබැංකුවෙන් කරුණු විමසූ කාරක සභාව දැඩි අවධානය යොමු කරයි

NDB බැංකුවට අදාළව සිදුව ඇති බවට සඳහන් වන මූල්‍ය වංචාවක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා මහබැංකුවෙන් විස්තරාත්මක කරුණු විමසීමක් සිදු කර ඇත.

මෙම කරුණු විමසීම සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 07 වන දින පැවති කාරක සභා රැස්වීමේදීය. නීතිමය වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුව ඉදිරියේ පෙනී සිටිය යුතු අතර, ඒ අනුව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පාලක මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී ඇත.

එම අවස්ථාවේදී, NDB බැංකුවට අදාළව ඇති බව කියන මූල්‍ය වංචා සිද්ධිය කාරක සභාවේ විශේෂ අවධානයට ලක්ව තිබේ. මෙම ගැටළුවේ බරපතළ ස්වභාවය සැලකිල්ලට ගනිමින්, කඩිනමින් සවිස්තරාත්මක විමර්ශනයක් අවශ්‍ය බවද කාරක සභාව අවධාරණය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ක්‍රියාවලියක් දැනටමත් ආරම්භ කර ඇති බව මහබැංකු අධිපතිවරයා සඳහන් කළ අතර, අවශ්‍ය තොරතුරු සම්පූර්ණ වූ පසු ඉක්මනින් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

එසේම, මෙම සිද්ධියට අදාළව බැංකුවේ ආයතනික පාලනය තුළ පවතින දුර්වලතා, මහබැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලියේ අඩුපාඩු සහ තොරතුරු වාර්තා කිරීමේ ප්‍රමාදයන් පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

මෙවැනි අඩුපාඩු පිළිගත නොහැකි බව අවධාරණය කළ කාරක සභාව, ඒවා වහාම නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට උපදෙස් දී ඇත. තවද, මෙම කාරණය සම්බන්ධයෙන් අඛණ්ඩ අධීක්ෂණයක් පවත්වාගෙන යමින්, මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ඇති බව ද කාරක සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button