ප්‍රධාන පුවත්

තේ ගොවීන්ට අමතර රු.5000 පොහොර සහනාධාරය: QR ක්‍රමයෙන් ව්‍යාප්තිය 122%කින් ඉහළට

කුඩා තේ වතු හිමියන්ට වඩාත් ප්‍රායෝගික සහනයක් ලබාදීම සඳහා රජය හඳුන්වාදුන් QR පදනම්කෘත පොහොර බෙදාහැරීමේ ක්‍රමවේදය, කාලීන අවශ්‍යතා හඳුනාගත් සාර්ථක පියවරක් ලෙස පෙනී යයි.

තේ වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රජය විසින් පොහොර සඳහා ලබාදෙන සහනාධාරය තවත් වරක් වැඩි කරමින්, කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියකට රුපියල් 5000ක අමතර මුදල් සහනයක් ලබාදීමට තීරණය කර ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනය කළේ, මාර්තු 31 වනවිට QR ක්‍රමවේදය යටතේ පොහොර ලබාගැනීම සඳහා ගොවීන් 226,511 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි. එම කාලය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවීන් 187,759 දෙනෙකුට මෙට්‍රික් ටොන් 21,117.7ක සහනාධාර පොහොර ප්‍රමාණයක් බෙදාහැර තිබේ.

දැනට ක්‍රියාත්මක වන සහනාධාර යටතේ, කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියකට රුපියල් 4000ක් සහ කිලෝග්‍රෑම් 25ක මිටියකට රුපියල් 2000ක් ලබාදෙන අතර, මේ වනවිට කිලෝග්‍රෑම් 50ක පොහොර මිටි 334,256ක් සහ කිලෝග්‍රෑම් 25ක මිටි 176,199ක් ගොවීන් වෙත ලබාදී ඇත.

2024/25 වර්ෂය පුරාම සහනාධාර පොහොර ලබාගෙන තිබුණේ ගොවීන් 84,472 දෙනෙකු පමණක් වුවද, නව QR ක්‍රමවේදය යටතේ මාස හයක කාලයක් තුළම ගොවීන් 187,759 දෙනෙකුට පොහොර ලබාදී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 122.3ක වර්ධනයක් ලෙස සඳහන් වේ.

එමෙන්ම, පෙර කාලයේදී මෙට්‍රික් ටොන් 13,015.50ක් පමණක් බෙදාහැර තිබූ අතර, නව ක්‍රමවේදය යටතේ එම ප්‍රමාණය මාර්තු අවසන් වනවිට මෙට්‍රික් ටොන් 21,117.7 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය සියයට 62.2කින් වැඩි වී ඇත.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන්ට විශේෂ සහනයක් ලබාදීමේ අරමුණින් මෙම අමතර රුපියල් 5000ක දීමනාව හඳුන්වා දී ඇති අතර, එය වසර තුළ එක් වතාවක් පමණක් ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙම නව සහනාධාරයද QR ක්‍රමවේදය යටතේම වසර අවසානයට පෙර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යාංශය පවසයි.

2030 වනවිට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීම මෙහි දිගුකාලීන අරමුණ වන අතර, ඒ සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button