උණුසුම් පුවත්

National Fuel Pass QR පද්ධතියේ ගැටලු හෙට වන විට නිරාවරණය වේ – නව ලියාපදිංචි කිරීම් ගැනත් දැනුම්දීමක්

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය ලෙස හඳුන්වන National Fuel Pass සම්බන්ධයෙන් මතුවී ඇති තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ පද්ධතියේ පවතින සියලු බාධා හෙට (17) පෙරවරුව වන විට ඉවත් කර එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යාංශය විශ්වාසය පළ කර තිබේ.

විශේෂයෙන් 2023 වසරේ අගෝස්තු මාසයෙන් පසු මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය මාරු කරගත් වාහන සඳහා නව QR කේතයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බවද සඳහන් වේ.

එම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු දැනට අඛණ්ඩව සිදුකරමින් පවතින බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

තවද, යම් QR කේතයකට සම්බන්ධ දුරකථන අංකයේ හිමිකාරීත්වය වෙනස් වී තිබීම හෝ එම දුරකථන සබඳතාව අක්‍රිය වී තිබීම වැනි අවස්ථා පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.

එම සමාගම් විසින් ලබාදෙන යාවත්කාලීන තොරතුරු මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුකරමින් පවතින බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අතර එම අමාත්‍යාංශය විසින් තවත් විශේෂ දැනුම්දීමක් නිකුත් කරන ලද,

ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි (Links) වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

දත්ත අවභාවිතය වළක්වා ගැනීම සඳහා සැමවිටම රජයේ නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්, පවතින ගැටලු සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button