
IMF නව ගිවිසුමකට යන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්
තෙල් මිල ඉහළ යාම සහ විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ හේතුවෙන් උද්ධච්ච ලෙස කටයුතු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ අනුප්‍රාප්තික ගිවිසුමක් සඳහා රජය ඉක්මනින් යොමු විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
අද (24) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කර තිබුණි.
ජනාධිපතිවරයා රට තුළ ගැටලු නොමැති බව පෙන්වීමට උත්සාහ කළද, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පවතින සංඛ්‍යාත්මක දත්ත මඟින් රට මුහුණ දී ඇති අවදානම පැහැදිලි වන බවද ඔහු සඳහන් කළේය.
ලෝක ප්රමිතීන් අනුව රටක විදේශ සංචිත අවම වශයෙන් මාස තුනක ආනයන වියදම් ආවරණය කළ යුතු වුවද, ශ්‍රී ලංකාවට එම මට්ටමේ සංචිත නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මෙරට මාසික ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වන බවත්, ඒ අනුව අවශ්‍ය සංචිත ප්‍රමාණය තවමත් සම්පූර්ණ වී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් විදේශ ප්‍රේෂණවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මැදපෙරදිග ආර්ථිකය බිඳ වැටීමක් සිදුවුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අවදානමට ලක්විය හැකි නමුත් ඒ පිළිබඳව රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.



