උණුසුම් පුවත්

IMF ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදල ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ලැබී තිබේ.

මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලබාදීමට IMF විධායක මණ්ඩලය පසුගිය මැයි 27 වැනිදා පැවති රැස්වීමේදී තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ අරමුදල් පහසුකම 2023 මාර්තු මාසයේදී අනුමත කළ අතර, එහි ඉදිරි ප්‍රගතිය ඇගයීමට අදාළ 5වන හා 6වන සමාලෝචන මෙම අවස්ථාවේදී සම්පූර්ණ කර ඇත.

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කර ඇත්තේ, විවිධ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.

කෙසේවෙතත්, දිට්වා සුළි කුණාටුවේ බලපෑම් සහ මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බව ද ඔහු අවධාරණය කර තිබේ.

IMF ඇස්තමේන්තු අනුව 2026 වසරේ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය සියයට 3ක පමණ මට්ටමකට සීමා විය හැකි අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ සංචාරක ආදායම් අඩුවීම එයට බලපාන ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරට ළඟා වී තිබුණද, ණය තිරසාරභාවය සම්බන්ධ අවදානම් තවදුරටත් පවතින බැවින් මිල ස්ථාවරත්වය ආරක්ෂා කරන මූල්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව IMF පෙන්වා දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button