ප්‍රධාන පුවත්

IMF උද්ධමන ඉලක්කය ගැන කියයි

IMF උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවට සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීම සඳහා දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ වගවීමේ සීමාව අඛණ්ඩව පවත්වාගෙන යාම සුදුසු බව IMF කණ්ඩායම සඳහන් කරයි.

ගෝලීය තෙල් මිල ඉහළ යාමෙන් ඇති වූ බලපෑම හේතුවෙන් අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය සියයට 8ක් දක්වා ඉහළ ගිය බවද එම කණ්ඩායම පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, උද්ධමනය සම්බන්ධයෙන් ජනතාවගේ අපේක්ෂා පුළුල් වශයෙන් පාලනය වී ඇති බව IMF පවසයි.

මධ්‍ය කාලීනව මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඇතිවන උද්ධමන පීඩනයන්ට අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීමට මුදල් ප්‍රතිපත්තිය සූදානම්ව තබාගත යුතු බවද එම අරමුදල අවධාරණය කර තිබේ.

ආහාර සහ බලශක්ති මිල ගණන්වල පවතින ඉහළ විචලනය සැලකිල්ලට ගැනීමේදී, වත්මන් සියයට 5ක උද්ධමන ඉලක්කය ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිපත්තිමය නම්‍යශීලීභාවය ලබාදෙන බවද IMF සඳහන් කරයි.

එමෙන්ම අඩු සහ ස්ථාවර උද්ධමනයක් දිගුකාලීනව පවත්වාගෙන යාමේ වාර්තාවක් ගොඩනැගුණු පසු, ඉදිරි සමාලෝචනයකදී ඊට වඩා අඩු උද්ධමන ඉලක්කයක් වෙත ගමන් කිරීම පිළිබඳව සලකා බැලිය හැකි බවද පෙන්වා දී ඇත.

මේ අතර, රාජ්‍ය ව්‍යවසායන් හරහා රජයට ඇතිවිය හැකි රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කර ගැනීම සඳහා පිරිවැය ප්‍රතිසාධනය මත පදනම් වූ බලශක්ති මිලකරණ ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව IMF අවධාරණය කරයි.

රජයේ ආදායම් තිරසාරව ඉහළ නැංවීම සඳහා මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද එම අරමුදල පෙන්වා දී තිබේ.

බදු පදනම පුළුල් කිරීම, බදු සහන සහ බදු ගෙවීම් සඳහා ලබාදෙන දිරිගැන්වීම් තාර්කික කිරීම මෙන්ම ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු අනුකූලතාව වැඩිදියුණු කළ යුතු බවද IMF සඳහන් කරයි.

මැදපෙරදිග පවතින යුද්ධයේ කාලසීමාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල වෙනස්කම් සහ එල්නිනෝ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදීද අවාසිදායක අවදානම්වලට මුහුණදීමට සිදුවිය හැකි බව IMF පෙන්වා දෙයි.

එවැනි අවදානම් මධ්‍යයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය මූල්‍ය හා බාහිර ආරක්ෂිත සංචිත යළි ගොඩනැගීම මෙන්ම මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම වැදගත් බවද එම අරමුදල අවධාරණය කර ඇත.

IMF කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තිබේ. එමෙන්ම 2026 වසරේ වාර්ෂික උපදේශනයට අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇත.

මේ අතර, 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සියයට 4.2කින් වර්ධනය වී ඇති බව IMF පවසයි. එය අඛණ්ඩව ශක්තිමත් ආර්ථික වර්ධනයක් වාර්තා වූ 11 වන කාර්තුව බවද සඳහන් කරයි.

අගෝස්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ නිල දළ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවද IMF අනාවරණය කර තිබේ.

දූෂණ විරෝධී නීතිමය රාමුවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක බවද IMF අවධාරණය කර ඇත.

මෑතකදී ඉදිරිපත් කර ඇති සංශෝධනවල ඇතැම් වගන්ති හරහා විනිවිදභාවය සහ වගවීම දුර්වල වීමේ හැකියාවක් පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button