
මුහුද රළු වෙයි – ධීවරයින්ට රතු නිවේදනයක්
මුහුද රළු වෙයි යන තත්ත්වය හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
බටහිර-මධ්‍යම සහ ඊට ආසන්න වයඹ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (23) පෙරවරු 5.30 වන විට උතුරු අක්ෂාංශ 18.0°N සහ නැගෙනහිර දේශාංශ 84.7°E ආසන්නයේ පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනුම් දී තිබේ.
අදාළ සිතියමේ “Warning” කාණ්ඩය යටතේ දැක්වෙන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර, සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකිය. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව සඳහන් වේ.
එමෙන්ම “Advisory” කාණ්ඩය යටතේ දැක්වෙන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා වැඩි විය හැකි අතර, එම ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු අක්ෂාංශ 07°N ත් 22°Nත් අතර සහ නැගෙනහිර දේශාංශ 83°E ත් 95°Eත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ.
මේ වනවිට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.
අද (23) පෙරවරු 10ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 12ක කාලය සඳහා වලංගු වේ.



