උණුසුම් පුවත්
Trending

නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණි.

ඒ අනුව, පෙරවරු 9.15ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතා පැය කිහිපයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් A-330 වර්ගයේ ගුවන් යානා 06ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එවකට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක මහත්මියට චෝදනා එල්ල වී තිබුණි.

එම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහිදී කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබුණි.

ඇප මත සිටියදී ඔහු පසුගිය මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර, එය සියදිවි නසාගැනීමක් බවට පොලීසිය සැක පළ කළේය.

මේ අතර, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ දෙවන සැකකාරිය ලෙස නම් කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුද නිකුත් කර තිබේ.

එම විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද පසුගිය අගෝස්තු මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

එවැනි පසුබිමක් තුළ නාමල් රාජපක්ෂ මහතාගෙන්ද අදාළ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසම කටයුතු කර ඇති අතර, එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button