ප්‍රධාන පුවත්

ඇල්බේනියා හා කැනඩා රැකියා නාමයෙන් කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කාන්තාව අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා විශාල මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම ප්‍රදේශයේ “Global Educare Consultancy” නමින් ක්‍රියාත්මක කළ ආයතනයක් මඟින් ශිෂ්‍ය වීසා සහ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් ඇය ජනතාවගෙන් මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත. කාර්යාංශය වෙත ලැබුණු පැමිණිලි අනුව, දිවයින පුරා පුද්ගලයින් රවටමින් ඇය වංචා කර ඇති මුදල රුපියල් කෝටියකට අධික බව සඳහන් වේ.

මෙම ආයතනය නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය බවද විමර්ශන වලදී හෙළි වී තිබේ. එම ස්ථානය වැටලූ නිලධාරීන් විසින් රැකියා ගිවිසුම් ඇතුළු වැදගත් ලේඛන රැසක්ද භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අප්‍රේල් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර, මීරිගම ප්‍රදේශයේ “ASPA” නමින් තවත් වංචනික ආයතනයක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කර තිබේ. ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් අයකරන බවට ලැබුණු පැමිණිලි තුනක් මත මෙම වැටලීම සිදු කර ඇත.

උපාය දූත ක්‍රමයක් භාවිත කරමින් මෙම ජාවාරම හෙළි කර ගැනීමට නිලධාරීන් සමත් වූ අතර, එහිදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් සහ ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, කාන්තාව අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරු ඇප මත මුදාහැර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button