ප්‍රධාන පුවත්

මෙරට ජනාධිපති සහ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය අතර හමුවක්

පවතින ගැටලුකාරී තත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (08) ජනාදිපති කාර්යාලයේදී පැවැත්වුණි .

ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හා ඒ හේතුවෙන් රටවල් මුහුණ දෙන අභියෝග පිළිබඳව තානාපතිවරු ජනාධිපතිවරයා දැනුවත් කළහ. එමෙන්ම, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වයට ඇතිවන බලපෑම් පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.

මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළ අතර, යුද්ධයට සෘජුව සම්බන්ධ නොවන රටවල් වෙත එල්ල වන ප්‍රහාර පිළිබඳවද සිය කනස්සල්ල ප්‍රකාශ කළේය. එවැනි ප්‍රහාර කිසිදු ආකාරයකින් අනුමත නොකරන බවද ඔහු අවධාරණය කළේය.

ඊට අමතරව, මැදපෙරදිග රටවල් විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා ස්තූතිය පළ කළේය. විශේෂයෙන් බලශක්ති සැපයුම, විදේශ රැකියා අවස්ථා සහ සංචාරක ක්ෂේත්‍රයට ලැබෙන දායකත්වය මෙහිදී ඔහු විසින් ඇගයීමට ලක් කරන ලදී.

මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා කෘතඥතාව පළ කළේය.

එමෙන්ම, කලාපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා තනි රටක් ලෙසත්, සමූහිකව ජාත්‍යන්තර නීතියට අනුකූලවත් ශ්‍රී ලංකාවෙන් ලබා දිය හැකි උපරිම සහය ලබාදීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති හා අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලයේ ප්‍රධානී Khaled Nasser Sulaiman AlAmeri ඇතුළු සෞදි අරාබිය, ඕමානය, ඊජිප්තුව, පලස්තීනය, කටාර්, ඉරාකය, කුවේට් සහ ලිබියාව නියෝජනය කරන තානාපතිවරුන් සහ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

තවද, කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button