ප්‍රධාන පුවත්

නැව් සංස්ථාවේ අක්‍රමිකතා රැසක් COPE කමිටුවේදී අනාවරණයවේ

නැව් සංස්ථාවේ අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) විමර්ශනයේදී අනාවරණය වී තිබේ. සී/ස ලංකා නැව් සංස්ථාවේ 2021, 2022 සහ 2023 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී මෙම තොරතුරු හෙළිදරව් විය.

එහිදී සංස්ථාවට අයත් අනුබද්ධ හා ආශ්‍රිත සමාගම් හයක රුපියල් මිලියන 630ක ආයෝජනයක් සිදු කර තිබුණද, ඒ වෙනුවෙන් වාර්ෂිකව ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 4ක පමණ ඉතා අඩු ලාභාංශයක් බව අනාවරණය විය.

2024 සිට 2027 දක්වා කාලය සඳහා සකස් කළ සංයුක්ත සැලැස්ම ප්‍රායෝගික නොවන බව ද කමිටුව පෙන්වා දුන්නේය. එමෙන්ම සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන විධායක තනතුරු රැසක් දිගු කාලයක් වැඩබැලීමේ පදනම මත පවත්වාගෙන යාම ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් වී ඇති බවද සඳහන් කෙරිණි.

2016 වසරේ නෞකා දෙකක් මිලදී ගැනීම සඳහා ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 70ක ණය මුදලින් ඩොලර් මිලියන 47ක් තවමත් ගෙවීමට ඉතිරිව ඇති අතර, ණය වාරික ප්‍රමාදවීම හේතුවෙන් එය ප්‍රතිව්‍යුහගත කිරීමට ද සිදුව තිබේ. ඉන්ධන වියදම් ඉහළ යාම සහ නඩත්තු දුර්වලතා නිසා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ලැබිය හැකි ආදායම් අවස්ථාද සංස්ථාවට අහිමි වී ඇත.

“සිලෝන් බ්‍රීස්” නෞකාවේ ලිහිසි තෙල් ලීටර් 1,852ක් අස්ථානගත වීම පිළිබඳ නිසි පරීක්ෂණයක් මෙතෙක් සිදු කර නොමැති බවද හෙළි විය. තවද පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ ව්‍යාපෘතියකදී රුපියල් මිලියන 1.4ක අලාභයක් සිදුව ඇති අතර, රුපියල් මිලියන 6.3ක මුදලක් අයකර ගැනීමට ද ආයතනය අසමත් වී තිබේ.

සිංගප්පූරුවේ Wallem Shipping සමාගම සමඟ 2016 සිට ක්‍රියාත්මක ගිවිසුමෙන් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා නොමැති අතර, එම ගිවිසුමේ දඬුවම් වගන්ති නොමැතිවීමද බරපතළ දුර්වලතාවක් ලෙස කමිටුව පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, එම ගිවිසුම 2026 සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමෙන් පසු රජයේ ලියාපදිංචි සෘජු තැරැව්කරුවන් හරහා වාණිජ මෙහෙයුම් සිදු කිරීමට නව සැලැස්මක් සකස් කර ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ. එමඟින් කොමිස් වියදම් අවම කර ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජු සම්බන්ධතා වර්ධනය කර ගැනීම අපේක්ෂා කරයි.

අවසානයේ COPE කමිටුව ලංකා නැව් සංස්ථාව සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කරන ලෙසත්, අනවශ්‍ය වියදම් කපා හරින ලෙසත් නිර්දේශ කළ අතර, අනාවරණය වූ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් විධිමත් විමර්ශන පවත්වන ලෙසද නිර්දේශ කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button