
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් යටතේ පවතින ආයතනයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම සම්බන්ධයෙන් වගකීම භාරගැනීමට සිදුවන බවයි.
තවද මීගමුව බන්ධනාගාර ගැටුම මේ වන විට පාලනය කර ඇති බවත්, කිසිදු පුද්ගලයෙකුගේ ජීවිතයක් අහිමි වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
“එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා. මියගිය අයගේ පවුල්වල අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. අපි එතැනට ගිහින් වෙලා තියෙනව දේ හොයලා ඉදිරියේ දී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි.”
මීගමුව බන්ධනාගාර ගැටුම පිළිබඳ සම්පූර්ණ කරුණු සොයා බලා, අනාගතයේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



