
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට හෙට පත්වීම්
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්රදානය කිරීම හෙට (07) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙම බඳවා ගැනීම සඳහා 2025 ඔක්තෝබර් 05 දින පැවති විවෘත තරග විභාගයට 85,000කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල සහ 2026 මැයි 22, 23 හා 24 දිනවල පැවති සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල පදනම් කරගෙන දක්ෂතාවය අනුව පත්වීම්ලාභීන් තෝරාගෙන තිබේ.
මෙම තනතුර සඳහා මූලික සුදුසුකම උසස් පෙළ වුවද, උපාධිධාරීන් විශාල පිරිසක් ද සුදුසුකම් ලබා ඇත. පත්වීම් ලබන සියලු දෙනා වයස අවුරුදු 18 සිට 29 දක්වා වන අතර, සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් නිලධාරීන් 1,252 දෙනෙකු මෙවර තෝරාගෙන ඇත.
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ දැනට පුරප්පාඩු 1,615ක් පවතින බව සඳහන්ය. පළමු අදියරේදී සුදුසුකම් සපුරා ඇති 1,252 දෙනාට පත්වීම් ලබාදෙන අතර, ඉතිරි පුරප්පාඩු සඳහා දෙවන අදියරේදී තවත් පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.
2021 වසරෙන් පසු රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා වී තිබීම හේතුවෙන් නිලධාරී හිඟයක් ඇතිවූ බවත්, එය මහජන සේවා සැපයීමට බලපෑ බවත් අමාත්‍යවරයා පැවසීය. රජයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව 2025 වසරේදී 35,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට එක්කර ඇති අතර, 2026 වසර තුළ ලක්ෂයකට අධික පිරිසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන්ය. තවද 2027 වසරේදී ද තවත් සැලකිය යුතු පිරිසක් රාජ්‍ය සේවයට එක්කර ගැනීමට සැලසුම් කර තිබේ. :::



