උණුසුම් පුවත්

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට – සුළු ගංවතුර අවදානමක්

සුළු ගංවතුර අවදානම ගංගා කිහිපයක් ආශ්‍රිතව තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, තෙත් කලාපයේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වැසි ලැබෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාල්ල, මාතර, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත් ප්‍රදේශ රැසකට මෙලෙස වර්ෂාපතනය ලැබී තිබේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අද උදෑසන වන විට කැලණි ගඟේ ඉහළ ද්‍රෝණි ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

එමෙන්ම අනෙකුත් ගංගා ද්‍රෝණි බොහොමයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 50ත් 80ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවද ඔහු පැවසීය.

පෙරේදා දිනයේ මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ අතර කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටමද මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව සඳහන් වේ.

කැලණි ගඟේ හංවැල්ල, ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලද ජල මට්ටම් ඉහළ අගයක පවතින බව වාර්තා වේ.

මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටමද මේ වන විට අඩුවෙමින් පැවතුණද, එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමට ආසන්න බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාව මේ වන විට සියයට 34ත් 35ත් අතර මට්ටමක පවතින බවද එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

එම ජලාශ බොහොමයක් වියළි කලාපයේ පිහිටා ඇති බැවින් එම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ සහ පොල්ගොල්ල ඇතුළු ජලාශ කිහිපයක ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ජල ක්‍රීඩා හෝ වෙනත් කටයුතු සඳහා ඇතුළුවීම ඉතා අනතුරුදායක බැවින් එවැනි ස්ථානවලට නොයන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button