
උගත් තරුණ විරැකියාව 43%ක් – ශ්‍රී ලංකාව ඉදිරියෙන්
උගත් තරුණ විරැකියාව ශ්‍රී ලංකාවේ සියයට 43කට ආසන්න මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව වයස අවුරුදු 15ත් 24ත් අතර, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර මෙම විරැකියා අනුපාතය ආසන්න වශයෙන් සියයට 43ක් වේ.
ආසියාතික රටවල් කිහිපයක තත්ත්වය සමඟ සැසඳීමේදී මෙම අගය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ඉහළම ප්‍රතිශතය බව වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවෙන් අනතුරුව ඉහළ අගයක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, ඉන්දුනීසියාව, මැලේසියාව සහ බංග්ලාදේශය වැනි රටවලද උගත් තරුණ පිරිස් රැකියා සොයා ගැනීමේ ගැටලුවට මුහුණ දී සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.
වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයද සම්පූර්ණ කරන තරුණ පිරිසගේ ප්‍රධාන අපේක්ෂාවක් වන්නේ සුදුසු රැකියා අවස්ථාවක් ලබාගැනීමයි. එහෙත් උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ පිරිස අතරද රැකියා විරහිතභාවය සැලකිය යුතු මට්ටමක පැවතීම මෙම වාර්තාව මගින් අවධානයට ලක්කර තිබේ.
මේ අතර, ලොව පුරා ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් බිලියන 1.2කට ආසන්න පිරිසක් රැකියා වෙළෙඳපොළට එක්වීමට අපේක්ෂා කරන නමුත්, එම පිරිසට සරිලන නව රැකියා අවස්ථා ලෙස ලොව පුරා බිහිවනු ඇතැයි අපේක්ෂා කරන්නේ මිලියන 500කට පමණක් බවද IMF වාර්තාව සඳහන් කරයි.



