උණුසුම් පුවත්

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුව දෙසැම්බර් 8ට කැඳවයි

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් කර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) අල්ලස් කොමිසමට නියෝග කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විමර්ශන අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා කාලයක් අවශ්‍ය බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නඩුව යළි දෙසැම්බර් 8 වනදා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින වනවිට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

මෙම නඩුවේදී, 2014 ජනවාරි 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක බලා පැමිණීමට නියමිත UL319 ගුවන්යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමෙන් රජයට අමෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

තවද, 2014 ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 ගුවන්යානයෙන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් රජයට අමෙරිකානු ඩොලර් 19,160ක අලාභයක් සිදු කළ බවටද චෝදනා එල්ල වී ඇත.

ඊට අමතරව, 2014 දෙසැම්බර් 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ රුපියල් 1,250,000ක් වැය කළ බවටද නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව තවත් චෝදනාවක් ගොනු කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button