
යෝෂිත රාජපක්ෂ නඩුව අගෝස්තු 20 දක්වා කල්යයි
යෝෂිත රාජපක්ෂ නඩුව කල් තැබේ
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 20 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ අද (24) මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේ යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා අසනීප තත්ත්වයකින් පසුවන බැවින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 20 වනදා සිදුකරන ලෙස නියෝග කළේය.
එදින සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණ සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ටද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පිහිටි රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුතු ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.



