ප්‍රධාන පුවත්

නිල්දිය පොකුණ විවෘත කිරීම සඳහා ආරක්ෂිත පියවර කඩිනම් කරයි

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය භූගත ජලාශයක් වන නිල්දිය පොකුණ විවෘත කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලය පවසයි.

ඒ අනුව, ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා නිලධාරීන් විසින් පොකුණේ ස්ථාන හතරකින් ජල සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියහ.

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උමඟ තුළ සන්නිවේදනයට වෝකිටෝකි භාවිත කිරීම, ආරක්ෂක උපදෙස් සහිත දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කිරීම, ආරක්ෂිත හිස්වැසුම් හා කඹ ලබාදීම සඳහා විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් ද සැලසුම් කර ඇත.

නිල්දිය පොකුණ ස්ථිරව වසා තැබීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලධාරීන් අවධාරණය කළ අතර, අවශ්‍ය ආරක්ෂිත නිර්ණායක සම්පූර්ණ වූ වහාම එය නැවත මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

ජල සාම්පල ලබාගැනීමේදී එහි සිටි ඇතැම් මඟපෙන්වන්නන්ගේ සහය නොලැබුණද, වනජීවී සහ පරිසර නිලධාරීන් එක්ව කාර්යය සාර්ථකව නිම කළ අතර, එම අවස්ථාවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බණ්ඩාරවෙල සහ ඇල්ල පොලිස් නිලධාරීන් ද කැඳවා තිබිණි.

2025 දෙසැම්බර් 26 වැනිදා සිට ආරක්ෂිත හේතූන් මත තාවකාලිකව වසා දැමූ නිල්දිය පොකුණ නැවත විවෘත කිරීම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට සහ ඒ ආශ්‍රිත ව්‍යාපාරවල නිරත පිරිස්ට සැලකිය යුතු සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button