
EPF ETF වත්කම් ගැන නව හෙළිදරව්වක්
EPF ETF වත්කම් ගැන අනාවරණයක්
ETF හා EPF අරමුදල් පිහිටුවීමෙන් පසු ගතවූ කාලය තුළ කිසිදු රජයක් සිදු නොකළ ආකාරයේ විධිමත් අධ්‍යයනයක් මේ වනවිට ආරම්භ කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අරමුදල්වල කාර්යක්ෂමතාව සහ සාමාජික ප්රතිලාභ ඉහළ නැංවීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව හරහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
වත්මන් දත්ත අනුව EPF අරමුදලේ ලියාපදිංචි වී ඇති සහ ප්රතිලාභ ලබන සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 22.9ක් වන අතර, එයින් මාසිකව මුදල් බැර වන සක්‍රීය ගිණුම් සංඛ්‍යාව මිලියන 3.1ක් බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ETF අරමුදලේ ලියාපදිංචි සාමාජිකයන් සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න බවත්, 2025 අවසානය වන විට EPF අරමුදලේ වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන 4.9ක් සහ ETF අරමුදලේ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 637.5ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී මහින්ද ජයසිංහ මහතා මෙලෙස පැවසීය.
“සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී ඇති සහ ප්රතිලාභ ලබන සමස්ථ සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 22.9කි. ඉහත සාමාජිකයින් අතරින් මාසිකව සාමාජික මුදල් බැර වන ගිණුම් සංඛ්‍යාව මිලියන 3.1ක්. සේවක භාරකාර අරමුදලෙහි ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන තුනක් පමණ වේ. 2025 වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන හතරයි දශම නවයක්. ඒ වගේම සේවක භාරකාර අරමුදලෙහි වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන හයසිය තිස් හතයි දශම පහක්.”
ගෙවීම් පැහැර හරින ලද පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවලින් හිඟ මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
“ඒ විතරක් නෙමෙයි මේ වන විට විවෘත වරෙන්තු හා අක්‍රිය වී ඇති නඩු සක්‍රිය කිරීම සඳහා කඩිනම් පියවර ආරම්භ කරලා තියෙනවා.. කම්කරු දෙපාර්තමේන්තුව හා මහ බැංකුව දත්ත පද්ධතිය ඒකාබද්ධ කර නව දත්ත පද්ධතියක් යටතේ කටයුතු කිරීමට නව මෘදුකාංගයක් සොෆ්ට්වෙයාර් එකක් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන්, සේවය සහ සේවක ලියාපදිංචිය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ඩිජිටල් EPF පහසුකම් මේ වෙනකොටත් අපි සපයලා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ අපි එය ලෝන්ච් කරා.”
මෙම ප්‍රතිසංස්කරණ හරහා EPF සහ ETF සේවාවන් එකම ස්ථානයකින් ලබාගැනීමට හැකි තනි සේවා කවුළුවක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



