ප්‍රධාන පුවත්

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමි වූ දරුවන්ට දීමනාව කඩිනම් කරන් ජනපතිගෙන් උපදෙස්

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමි වූ දරුවන්ට දීමනාව කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම දීමනා වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභී දරුවන් වෙත මාසික දීමනාව ප්‍රමාදයකින් තොරව ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ 2026 වසර සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට වෙන් කළ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පැවති සාකච්ඡාවකදීය.

එහිදී වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාව, ගර්භණී මව්වරුන්ට පෝෂණීය ආහාර දීමනාව, පෙරපාසල් දරුවන්ට උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහන සහ පෙරපාසල් ගුරුවරුන් සඳහා වන ගුරු අභිමානී දීමනා වැඩසටහනේ ප්‍රගතිය ද විමර්ශනය කර තිබේ.

ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන පෝෂණීය ආහාර දීමනාව නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති අතර, අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

මේ අතර, මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරිය ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත්කර ඇති අතර, ජේ. එම්. සී. ජේ. විජේතුංග මහතා සහ කේ. කරුණාහරන් මහතා සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button