ප්‍රධාන පුවත්

ප්ලූටෝ සහ ටයිටන් මත අද්භූත රසායනික සලකුණක් හමුවෙයි

නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් ප්ලූටෝ සහ ටයිටන් රසායනික සලකුණ පිළිබඳ නව අභිරහසක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ. මෙම සලකුණ මෙතෙක් පවතින කිසිදු රසායනික දත්තයකට නිවැරදිව ගැලපෙන්නේ නොමැති බව විද්‍යාඥයෝ පවසති.

මෙම සොයාගැනීම ඇතුළත් පර්යේෂණ වාර්තාව ‘Astronomy & Astrophysics’ සඟරාවේ පළ කිරීම සඳහාද අනුමැතිය ලබා ඇති බව සඳහන් වේ.

දුරස්ථ ග්‍රහලෝක හා චන්ද්‍රයන්හි පවතින ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා විද්‍යාඥයන් භාවිත කරන්නේ වර්ණාවලි වික්ෂේපණය (Spectroscopy) නම් තාක්ෂණයයි. එහිදී එක් එක් රසායනික ද්‍රව්‍යයට අනන්‍ය වූ ආලෝක සලකුණු හඳුනාගනු ලබයි.

කෙසේ වෙතත්, මෙවර ප්ලූටෝ සහ ටයිටන් යන ලෝක දෙකෙන්ම මයික්‍රොමීටර 5.113ක තරංග ආයාමයකින් යුතු අසාමාන්‍ය ආලෝක අවශෝෂණ කලාපයක් නිරීක්ෂණය වී තිබේ.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ උපකරණ දෙකක් මඟින්ම මෙම සංඥාව තහවුරු කර ඇති බැවින්, එය උපකරණ දෝෂයක් නොවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

විද්‍යාඥයන් මෙම සලකුණ ඇසිටිලීන්, බෙන්සීන්, කෙටීන් ඇතුළු විවිධ කාබනික සංයෝග සහ ශීත කළ ද්‍රව්‍ය සමඟ සැසඳුවද, ඒවා කිසිවක් මෙම සංඥාවට සම්පූර්ණයෙන් ගැලපී නොමැත.

එම නිසා මෙය මෙතෙක් විද්‍යාවෙන් හඳුනා නොගත් නව රසායනික ද්‍රව්‍යයක් විය හැකි බවට හෝ, දැනට දන්නා සංයෝගයක් අධික ශීතල පරිසරයක් තුළ වෙනස් ස්වරූපයකින් ක්‍රියා කිරීමෙන් මෙම සලකුණ ඇති වූවක් විය හැකි බවට විද්‍යාඥයෝ අදහස් පළ කරති.

මෙම සොයාගැනීමේ විශේෂත්වය වන්නේ ප්ලූටෝ සහ ටයිටන් යනු එකිනෙකට වෙනස් පරිසර පද්ධති සහිත ලෝක දෙකක් වීමයි.

ටයිටන් සතුව නයිට්‍රජන් හා මෙතේන් බහුල ඝන වායුගෝලයක් සහ ද්‍රව මෙතේන් සහිත විල් හා ගංගා පවතින අතර, ප්ලූටෝ අතිශය සිහින් වායුගෝලයක් සහ නයිට්‍රජන්, මෙතේන් හා කාබන් මොනොක්සයිඩ් අයිස්වලින් ආවරණය වූ මතුපිටක් සහිත වේ.

කෙසේ වෙතත්, සූර්යාලෝකය හා කොස්මික් කිරණ හේතුවෙන් මෙම ලෝක දෙකෙහිම සංකීර්ණ කාබනික රසායනික ක්‍රියාවලීන් සිදුවන බැවින්, එකම රසායනික සලකුණ දෙකෙහිම දැකගැනීමට එය හේතුවක් විය හැකි බව පර්යේෂකයෝ විශ්වාස කරති.

මෙම අභිරහස විසඳීම සඳහා අනාගතයේදී තවත් රසායනාගාර පරීක්ෂණ සහ ජේම්ස් වෙබ් දුරේක්ෂ නිරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

එමෙන්ම, ටයිටන් ගවේෂණය සඳහා සැලසුම් කර ඇති නාසා ආයතනයේ ‘ඩ්‍රැගන්ෆ්ලයි’ මෙහෙයුම මඟින්ද මෙම අද්භූත රසායනික සලකුණ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button