
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 25ක් – 100කට තුවාල
මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය අද (06) තහවුරු කළේය.
මීගමුව රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ මියගිය සහ තුවාල ලැබූ කිහිපදෙනෙකුගේ සිරුරුවල වෙඩි ප්‍රහාරවලට අදාළ තුවාල දක්නට ලැබුණු බවයි.
අද උදෑසන රැඳවියන් පිරිසක් සංවිධානාත්මක ලෙස බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමත් සමඟ තත්ත්වය උග්‍ර වී ඇති අතර, පාලනය සඳහා ආරක්ෂක අංශ වෙඩි තැබීමටද සිදුව තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (05) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය. එම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබුණි.
විමර්ශනවලට අනුව මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීම සම්බන්ධ සිද්ධියක් මුල්කරගෙන මෙම ගැටුම් ආරම්භ වී ඇතැයි සැලකේ.
ගැටුම අතරතුර කාන්තා සහ පිරිමි රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලයට නැග විරෝධතාවයක නිරත වූ අතර, සිවිලිමක් කඩා වැටීමෙන් තවත් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා තිබුණි.
බලධාරීන් පවසන්නේ කළහකාරී රැඳවියන් බන්ධනාගාර රෝහලට හානි කර එහි තිබූ ඖෂධ පැහැරගෙන ගොස් ඇති අතර, ශරීර සුවතා මධ්‍යස්ථානයේ යකඩ කොටස්ද ප්රචණ්ඩ ක්‍රියා සඳහා භාවිත කර ඇති බවයි.
තවද, රැඳවියන් අවි අත්පත් කරගැනීමේ අවදානම සැලකිල්ලට ගනිමින් බන්ධනාගාරයේ ගිනිඅවි ඊයේ රාත්‍රියේම ආරක්ෂිත ස්ථානයකට ඉවත් කර තිබූ බවද වාර්තා වේ.
අද අලුයම් කාලයේ සන්සුන්ව සිටි රැඳවියන් පසුව නැවත සංවිධානාත්මකව නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ ජංගම දුරකථනද පැහැරගෙන ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරයි.
බන්ධනාගාරයේ පවතින දැඩි පාලන ක්‍රමවලට විරෝධය පළ කිරීම මෙම ප්‍රහාරවලට හේතු වී ඇති බවද සඳහන්ය.
ආරක්ෂක අංශ පවසන්නේ මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව මෙහෙයවා ඇත්තේ දැනට දඬුවම් විඳින කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බවට සැක පළවන අතර, ඔහුට එරෙහිව බරපතළ අපරාධ චෝදනා කිහිපයක් සහ නඩු විභාග වෙමින් පවතින බවයි.



