
සරණ ගුණවර්ධනගේ වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනයක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරමින් තමන්ට නියම කළ බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම සහ රුපියල් ලක්ෂ 18ක දඩ මුදල අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබේ.
මෙම ඇපැල් පෙත්සම් නීතිඥ රන්ජන් ද සිල්වා මහතා මාර්ගයෙන් ගොනු කර ඇති අතර, ඒවා අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර කුලී පදනම මත වාහන ලබාගැනීමෙන් රජයට අලාභයක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනු කර තිබුණි.
එම නඩු විභාගයෙන් අනතුරුව සරණ ගුණවර්ධන මහතා චෝදනාවලට වරදකරු කරනු ලැබූ අතර, එක් නඩුවකට වසර හතර බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කිරීම හේතුවෙන් සමස්ත සිරදඬුවම වසර 16ක් දක්වා නියම කෙරිණි. ඊට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක්ද ගෙවීමට නියෝග කර තිබේ.
එම තීන්දුව නීතියට පටහැනි බව පවසමින්, සිරදඬුවම සහ දඩ මුදල අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු මෙම අභියාචනා පෙත්සම් ගොනු කර ඇත.



