විදෙස්

වෙනිසියුලාවේ භූකම්පනයෙන් දින 6කට පසු තුන් හැවිරිදි දරුවා දිවි ගලවාගනී

වෙනිසියුලාවට පසුගියදා බලපෑ ප්‍රබල භූකම්පනවලින් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින හයක් සිරව සිටි තුන් හැවිරිදි දරුවෙකු ජීවිතය බේරාගෙන සොයාගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.

ක්ලයිබර් මොරාන් (Klieber Morán) ලෙස හඳුනාගෙන ඇති මෙම දරුවා ලා ගුවයිරා ප්‍රාන්තයේ සුන්බුන් අතරින් ජෝර්දාන ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් ආරක්ෂිතව මුදාගෙන ඇත.

අනතුරුව ඔහුට ප්‍රථමාධාර ලබාදී කරාකස් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව වෙනිසියුලානු බලධාරීන් සඳහන් කරයි.

මේ අතර, භූකම්පනයෙන් පීඩාවට පත් දස දහස් සංඛ්‍යාත ජනතාවට ආහාර, නවාතැන් සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

වාර්තාවලට අනුව රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ප්‍රබලත්වයෙන් සිදුවූ භූකම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,943 දක්වා ඉහළ ගොස් ඇති අතර, 10,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. තවත් දහස් ගණනක් අතුරුදන්ව සිටින බවද සඳහන් වේ.

නාසා ආයතනයේ මූලික චන්ද්‍රිකා දත්ත අනුව ගොඩනැගිලි 58,000කට වැඩි සංඛ්‍යාවක් හානි වී හෝ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ඇස්තමේන්තු කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, අඩු එන්නත් ආවරණය හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමද ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විටත් ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු ද ආරම්භ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button