සෞඛ්‍යය

අහිතකර කෙටි ආහාරවලට වැට බඳින නව පාසල් මාර්ගෝපදේශය

ජාතික පෝෂණ මාසය 2026ට සමගාමීව “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) නිල වශයෙන් එළිදක්වා ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් සකස් කර ඇති මෙම මාර්ගෝපදේශය, පාසල් දරුවන්ට පෝෂ්‍යදායී, සෞඛ්‍යාරක්ෂිත හා දැරිය හැකි මිලකට ආහාර සැපයීමේ අරමුණින් හඳුන්වා දී තිබේ.

කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ගෝපදේශය එළිදැක්විණි.

පාසල් දරුවන් අතර නිවැරදි ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම, අහිතකර ආහාර පරිභෝජනය අවම කිරීම සහ ආපනශාලා සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම මෙහි ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ.

මෙම වැඩසටහන යටතේ අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිලාභ පහක්ද හඳුන්වා දී ඇත.

1.නිසි පෝෂණයෙන් යුතු, බෝ නොවන රෝග අවදානමින් මිදුණු නිරෝගී පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම. 2.පාසල් සිසුන්ට රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම. 3.පාසල් ළමුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීමට දායක වීම තුළින් නිවැරදි ආහාර පුරුදු හා හැසිරීම් ඇති කිරීම. 4.සෞඛ්‍ය සම්පන්න / නිවැරදි ආහාර පුරුදු පාසල් දරුවා මඟින් සමාජගත කිරීම. 5.ආපනශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ සනීපාරක්ෂාව සහතික කිරීම.

උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශයේ පණිවුඩය කඩිනමින් ජනතාව අතරට ගෙනයාම අත්‍යවශ්‍ය බවයි.

පෝෂණ ගැටලු සහ බෝ නොවන රෝග අවදානම් අවම කිරීම සඳහා දැඩි තීරණ හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග අවශ්‍ය බවත්, සමාජයේ බොහෝ දෙනා ගැටලුව අවබෝධ කරගෙන සිටියද නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මැලිකමක් දක්වන බවත් ඔහු පැවසීය.

එසේම, අහිතකර ආහාර සම්බන්ධ රෙගුලාසි හඳුන්වා දීමෙන් පසු පාසල් ව්‍යාපෘති සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන ඇතැම් සමාගම් එම සහයෝගය ඉවත් කර ගැනීම පිළිබඳව පාසල්වලින් පැමිණිලි ලැබී ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

දරුවන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සහ පෝෂණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, බෝ නොවන රෝග පාලනය සඳහා විශේෂ කාර්යසාධන බලකායක්ද ගොඩනගමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“කෙටි ආහාර ගැන නැවත සිතමු. සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික කෙටි ආහාර තෝරමු.” යන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ක්‍රියාත්මක වේ.

මෙහිදී ඉදිරිපත් කළ දත්ත අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටිබව 10.1%ක්, කෘශබව 8.6%ක්, අඩු බර 16.1%ක් සහ අධි බර/තරබාරුකම 0.57%ක් ලෙස වාර්තා වී තිබේ.

තවද, ගර්භනී මව්වරුන් අතර අඩු බර සහ රක්තහීනතාවය සැලකිය යුතු මට්ටමක පවතින බවත්, වැඩිහිටි ජනගහනය අතර අධි බර සහ ස්ථුලතාවයේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අවුරුදු 13 සිට 17 දක්වා පාසල් සිසුන් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණ දත්තවලට අනුව, සීනි සහිත පාන, කාබනීකෘත බීම, ලුණු සහ මේදය අධික කෙටි ආහාර මෙන්ම ක්ෂණික ආහාර නිතර පරිභෝජනය කරන සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවද අනාවරණය වී ඇත.

ඒ අනුව, පහසුවෙන් ලබාගත හැකි අධික කැලරි සහිත ආහාර සඳහා පාසල් සිසුන් අතර පවතින නැඹුරුව අවම කිරීම මෙම මාර්ගෝපදේශයේ මූලික අපේක්ෂාවක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button