
මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ගැන විජිත හේරත්ගෙන් යළි අවධාරණය
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා යළිත් අවධාරණය කර තිබේ.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ශ්‍රී ලංකාව වෙත අමෙරිකාව විසින් ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළ අමාත්‍යවරයා, මැදපෙරදිග පැවති යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ලබාදුන් සහයෝගයටද ස්තූතිය පුද කළේය.
තවද ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට පරිත්‍යාග කළ මුහුදු යාත්‍රා හා ගුවන් යානා සම්බන්ධයෙන් රජයේ කෘතඥතාව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
රට තුළ ආරක්ෂිත සහ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ඔහු, අමෙරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා භාවිත කිරීමට ආරාධනා කළ අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සූදානම් බවද දැනුම් දුන්නේය.
මෙම හමුවේදී අදහස් දැක්වූ එස්. පෝල් කපූර් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉතා වැදගත් බවයි.
අමෙරිකාව සහ ඉරානය අතර මේ වනවිට ආරම්භ වී ඇති ගිවිසුම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇති අතර, එහි සාර්ථකත්වය සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.
එසේම, ජූලි 04 දිනට යෙදෙන අමෙරිකාවේ 250 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් අමෙරිකානු ජනතාවට සහ එරට රජයටද අමාත්‍යවරයා සුබාශිංසන පිරිනමා ඇත.



