ප්‍රධාන පුවත්

පද්ධති අසමතුලිතතාව හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කරයි

ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිත තත්ත්වයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට ආසන්න සංඛ්‍යාවක විදුලි සැපයුම අද (30) තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. අද දිනයේ විදුලි ඉල්ලුම සාපේක්ෂව පහළ මට්ටමක පැවතීමත්, අපේක්ෂාවට වඩා වැඩි ප්‍රමාණයකින් සූර්ය බලශක්තිය පද්ධතියට එක්වීමත් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සැපයුම ඉල්ලුම ඉක්මවා ගොස් ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පසුගිය දවස්වල තිබූ වැහිබර කාලගුණය නිසා අපි බලාපොරොත්තු වුණේ සෝලාවලින් එන විදුලි ප්‍රමාණය තරමක් අඩුවෙන්. නමුත් අද දවසේ ඉතා හොඳින් සූර්යාලෝකය ලැබුණ නිසා අපි බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් සෝලාවලින්, ජාතික පද්ධතියට එකතු වෙලා තියෙනවා. මේකත් එක්ක බොහෝ ස්ථානවල ඉල්ලුමට වඩා සැපයුම වැඩිවුණා.

ඒ තත්ත්වය තුළ පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමට ගැටලුවක් මතු වෙලා තියෙනවා. ඒ අනුව පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමේ අරමුණින්, ඉල්ලුමට වඩා සැපයුම වැඩි ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක මේ වෙනකොට විදුලි කපා හැරීමක් සිද්ධ කරනවා.

ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් ඉක්මනින් ජනනයේ තියෙන ස්ථායීතාව, ඉල්ලුමට සරිලන ලෙස සැපයුම හදාගන්න. අපි බලාපොරොත්තු වෙනවා හවස 3 විතර වෙනකොට යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.

මේ විදියට විදුලි කපා හැරීමක් කරන්නේ නැතුව ඉදිරියට පවත්වාගෙන ගියොත් විශාල විදුලි බිඳවැටීමකට ලක්වෙන්න වෙන්න පුළුවන්. ඒ තත්ත්වය වළක්වා ගැනීමත් මේකෙ අරමුණක්.

ඒ නිසා අපි හිතනවා හවස 2, 3 වෙනකොට මේ තත්ත්වය යථා තත්ත්වයට ගේන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා.

මේ වෙලාවේ ගෘහස්ථ සෝලාර් විසන්ධි කර තිබීමෙන් ලොකු පහසුවක් වෙයි අපිට මේ පද්ධතියේ ස්ථායීතාව ගේන්න” යැයි පැවසීය.

මේ අතර, විදුලි ඉල්ලුම පහළ යාම හේතුවෙන් පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“බස්නාහිර පළාතේ තමයි රූෆ් ටොප් සෝලා ගොඩක් තියෙන්නේ. ඒ නිසා බස්නාහිර පළාත තුළ තමයි මේ තත්ත්වය පැනනැගිලා තියෙන්නේ.

කළුතර, පානදුර වගේ කලාප කිහිපයකත් මේ ප්‍රශ්නය පැනනැගිලා තියෙන්නේ, අද නිවාඩු දවසක් නිසා ඉල්ලුම අඩුයි සැපයුම වැඩියි. ඒ නිසා පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමට ප්‍රදේශ කිහිපයක කෙටි කාලයකට විදුලිය විසන්ධි කර තිබෙනවා.

සෝලාවලින් විතරක් අරගෙන මේවා කරනකොට තමයි මේ ප්‍රශ්නය එන්නේ. මේක කරේ නැත්නම් ලොකු බ්ලැක්අවුට් (Blackout) එකකට යන්න ඉඩ තියෙනවා. ඒ තත්ත්වයට යන එක වළක්වා ගන්න තමයි මේ විදිහට කරන්නේ” යැයි පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button