
රටවල් 40කට අද සිට ශ්‍රී ලංකාවේ නොමිලේ සංචාරක වීසා
ශ්‍රී ලංකාවට කෙටි කාලීන සංචාර සඳහා පැමිණෙන රටවල් 40ක ජාතිකයින් සඳහා නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) සිට ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, ජපානය, අමෙරිකාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 40ක ජාතිකයින්ට දින 30ක කාලයක් සඳහා මෙම නොමිලේ වීසා පහසුකම හිමිවෙයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික, නිල, සේවා සහ සාමාන්‍ය ගමන් බලපත්‍ර දරන අදාළ රටවල ජාතිකයින්ට මෙම සහනය යටතේ වීසා ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම් ඇති මාලදිවයින, සීශෙල්ස් සහ සිංගප්පූරුව ඇතුළු රටවල ජාතිකයින් ද මෙරටට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රය (ETA) ලබාගත යුතු බව ද සඳහන් කර ඇත.
මෙම ETA ක්‍රියාවලිය රටවල් 40ට අයත් ජාතිකයින්ට මෙන්ම මාලදිවයින, සීශෙල්ස් සහ සිංගප්පූරු ජාතිකයින්ට ද නොමිලේ සකස් කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව මාලදිවයින් ජාතිකයින්ට දින 90ක සංචාරක වීසා කාලයක් හිමිවන අතර, අනෙකුත් සුදුසුකම් ලබන සංචාරකයින්ට ද දින 90ක් දක්වා වලංගු සංචාරක වීසා ලබාගැනීමේ අවස්ථාව පවතින බව ද සඳහන් වේ.
තවද දින 30ක වලංගු කාලය තුළ ද්විත්ව ප්‍රවේශ පහසුකම ද හිමිවන අතර, එම කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවශ්‍ය නම් නියමිත ගාස්තු ගෙවා වීසා දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.
අදාළ නොමිලේ ETA පහසුකමට අයත් නොවන අනෙකුත් සියලුම රටවල ජාතිකයින් සඳහා සාමාන්‍ය ETA නීති හා රෙගුලාසි ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.



