විදෙස්

යුද්ධයෙන් පලස්තීනුවන් 70,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඊශ්‍රායලය පිළිගනී

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර සිදුවූ සටන් හේතුවෙන් පලස්තීනුවන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ ප්‍රධාන පුවත්පතක් වන යෙන්ඩියොත් අහ්‍රොනොත් (Yedioth Ahronoth) වෙත එරට ආරක්ෂක අංශ මෙම තොරතුරු හෙළි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සංඛ්‍යාවට අතුරුදන් වූ පුද්ගලයින් ඇතුළත් කර නොමැති බවද එම වාර්තා වල සඳහන් වේ.

මේ අතර, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය බදාදා (28) නිකුත් කළ නිවේදනයකදී ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 71,667 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රකාශ කර තිබුණි. එසේම තවත් 171,343 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

ඔක්තෝබර් මස මැද භාගයේ සටන් විරාමය ආරම්භ වූ දිනයෙන් පසු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 492 දෙනෙකු මිය ගොස් ඇති අතර, එම සංඛ්‍යාවද සමස්ත ගණන් වලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මියගිය පිරිස අතර සටන්කාමීන් සහ සිවිල් වැසියන් වෙන වෙනම වෙන් කර ගණනය කර නොමැති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

යුද්ධය ආරම්භ වූ මුල් අවධියේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදාව, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බවට චෝදනා එල්ල කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button