
වෙසක් සැරසිලිවල ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්නැයි ඉල්ලීමක්
වෙසක් උත්සව සමයත් සමඟ සිදුකරන සැරසිලි සහ දන්සැල් කටයුතුවලදී පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මිනිසුන්, සතුන් සහ සමස්ත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීම සිදුකරන බව එම අධිකාරිය පෙන්වා දෙයි.
වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල් සඳහා බහුලව යොදාගන්නා තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය රැසක් රජය විසින් නීතියෙන් තහනම් කර ඇති බවද ඔවුන් අවධාරණය කරයි. ඒ අතර ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි, පොලිස්ටියරින් ආහාර බහාලුම්, පොලිතීන් ලන්ච්ෂීට්, ප්ලාස්ටික් මල්මාලා සහ පොලිඑතිලින්/පොලිප්‍රොපිලින් සැරසිලි ද්‍රව්‍ය ඇතුළත් වේ.
2017 සහ 2023 වසරවල නිකුත් කළ ගැසට් නිවේදන අනුව, ආගමික හා සංස්කෘතික උත්සවවලදී මෙම තහනම් ද්‍රව්‍ය භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද සඳහන් කර ඇත.
අක්‍රමවත් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් ජල මාර්ග දූෂණය වීම, සතුන් එම ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මියයාම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බව අධිකාරිය පෙන්වා දෙයි.
එමෙන්ම, නොදිරන ද්‍රව්‍ය විවෘතව දහනය කිරීමෙන් විෂ වායු පරිසරයට මුදා හැරෙන බැවින් එවැනි ක්‍රියාකාරකම්වලින්ද වළකින ලෙස දැනුම් දී ඇත.
වෙසක් සමයේ පරිසර හිතකාමී විකල්ප භාවිත කරමින්, පරිසරයට හානි නොවන ආකාරයෙන් උත්සව කටයුතු සංවිධානය කිරීම සෑම දෙනාගේම වගකීමක් බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.



