
මෙරට රෝහල්වලට නව හෘද කැතිටකරණ යන්ත්‍ර 16ක්
මෙරට රජයේ ප්‍රධාන රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් අතිනවීන හෘද කැතිටකරණ යන්ත්‍ර 16ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසකට මෙම පහසුකම් ලබාදීමට නියමිතය.
ඒ අනුව මඩකළපුව, රත්නපුර, බදුල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන රෝහල්වලටද නව යන්ත්‍ර ස්ථාපනය කෙරේ.
මෙම වැඩසටහන සඳහා රජයේ මූල්‍ය ප්‍රතිපාදන, ආසියානු සංවර්ධන බැංකු ආධාර සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ආධාර යටතේ මුදල් වෙන්කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3103ක පමණ මුදලක් වැය කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අතරින් රෝහල් කිහිපයක ස්ථාපනය කිරීමට නියමිත යන්ත්‍ර සඳහා රුපියල් මිලියන 715ක් රජය විසින් වෙන්කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ තවත් රුපියල් මිලියන 1188ක්ද, JICA ආධාර යටතේ රුපියල් මිලියන 1200ක්ද වැය කෙරේ.
දැනට රජයේ රෝහල් කිහිපයක ක්‍රියාත්මක වන හෘද කැතිටකරණ යන්ත්‍ර සංඛ්‍යාවට මෙම නව යන්ත්‍ර 16 එක්වීමත් සමඟ සමස්ත සංඛ්‍යාව 26 දක්වා ඉහළ යනු ඇත.
මෙම නව පහසුකම් හරහා හෘද රෝගීන් සඳහා කාර්යක්ෂම ප්‍රතිකාර සේවා සැපයීම, පොරොත්තු ලේඛන අඩු කිරීම, පැය 24 පුරා හෘද හදිසි ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීම සහ හෘද රෝග සම්බන්ධ මරණ හා සංකූලතා අවම කිරීම අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



