
මාලදිවයින් මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා නව නීති
මාලදිවයින් මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා අනුගමනය කළ යුතු නව ක්‍රියා පටිපාටියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ, අරාබි මුහුදට ධීවර කටයුතු සඳහා පිටත්ව යන හා එම කටයුතු අවසන් කර යළි ගොඩබිම වෙත පැමිණෙන සියලුම බහුදින යාත්‍රා, මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය හරහා ගමන් කිරීමේදී මෙම නියමයන් අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බවයි.
මාලදිවයින් රජයේ නීති උල්ලංඝනය කරමින් එරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන යාත්‍රා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන අතර, ඒවා නිදහස් කරගැනීම සඳහා ඉහළ දඩ මුදල් පනවන බවද සඳහන් වේ. එවැනි අවස්ථාවලදී මැදිහත්වීමට හෝ සහාය දීමට ධීවර දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවද අවධාරණය කර ඇත.
නව ක්‍රියාමාර්ග අනුව, මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වීමට අවම වශයෙන් පැය 96කට පෙර නියමිත අයදුම්පත් පුරවා අදාළ විද්‍යුත් ලිපිනයන් වෙත යොමු කළ යුතුය.
එමෙන්ම, අයදුම්පත සමඟ යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ ලේඛන, කාර්ය මණ්ඩල තොරතුරු, යාත්‍රාවේ ඡායාරූපයක් සහ ඇතුළු වීම හා පිටවීම සදහන් දළ සිතියමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මෙම නීති රීති පිළිපැදීම මගින් අනාගතයේ සිදුවිය හැකි මූල්‍යමය හා වෘත්තීයමය අලාභ වලින් වළකින්න හැකි බැවින්, සියලුම යාත්‍රා හිමිකරුවන් හා ධීවරයින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



