ප්‍රධාන පුවත්

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කඩදාසි රහිත e-Court ක්‍රමවේදයට මාරුවේ ඉතිහාසගත පියවරක්

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ නව පරිවර්තනීය අදියරක් සනිටුහන් කරමින්, කඩදාසි ලේඛන මත පදනම් වූ සම්ප්‍රදායික නඩු විභාග ක්‍රමයෙන් ඉවත්ව, සම්පූර්ණයෙන්ම විද්‍යුත් පද්ධතියක් මත පදනම් වූ නඩු විභාගයක් පසුගිය මාර්තු 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වුණි.

මෙම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සමඟින් විනිසුරු මණ්ඩලයක් විසින් එය පවත්වා ඇත. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සාර්ථකව ක්‍රියාත්මක වන බව පෙන්වන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම විභාගයට ගත් නඩුව, කලකට පෙර මහත් ආන්දෝලනයට ලක් වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පෙරදින පිටවීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවක් හා සම්බන්ධ වේ. එහිදී නියම කර තිබූ රුපියල් මිලියන 3ක වන්දි මුදල ගෙවීමට අසමත් වීම හේතුවෙන්, වගඋත්තරකරුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු කටයුතු සිදු කර ඇත.

නඩු විභාගය අතරතුර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කළ ඩිජිටල් නඩු ගොනුව පරිගණකය මගින් විනිසුරු මණ්ඩලය පරිශීලනය කළ අතර, මෙය කඩදාසි රහිත අධිකරණ ක්‍රමවේදයක ප්‍රායෝගික භාවිතය සනාථ කරයි.

එසේම, අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරුට පැහැදිලි කරමින්, එම ලේඛනය ඩිජිටල් අත්සනකින් සත්‍යාපනය කර විද්‍යුත් පද්ධතියට ඇතුළත් කර ඇත. ඒ අනුව, අදාළ පාර්ශවයන්ට එම ලේඛන වෙත ඍජු ප්‍රවේශය ලබා දී තිබේ.

අදාළ නඩුවේ ඉදිරි විභාගය 2026 මැයි 14 දිනට කල් තැබූ අතර, මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ලේඛන රහිත නඩු විභාග ක්‍රමයක් වෙත ගමන් කිරීමේ නව අත්දැකීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

මෙම ඩිජිටල් පද්ධතිය “e-Court” ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ඇති අතර, එය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ. විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම දේශීයව සංවර්ධනය කර තිබීමයි.

එමෙන්ම, e-Filing යෙදවුම හරහා නීතිඥවරුන්ට පහසුවෙන් සහ අඩු වියදමින් නඩු ගොනු කිරීමේ හැකියාව ලැබී ඇති අතර, මේ වන විටත් විශාල ප්‍රමාණයක නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කර ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රමවේදය හරහා ලිපි ද්‍රව්‍ය සඳහා වැයවන විදේශ විනිමය සහ මුදල් පිරිවැය සුරකින්නට හැකි වන අතර, අනාගතයේදී ශ්‍රී ලංකාව පුරා සියලු අධිකරණ වෙත මෙම පද්ධතිය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

2026 පෙබරවාරි 10 දින සිට මෙම e-Filing පද්ධතිය ක්‍රියාත්මක කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් යුගයට ගෙන යන වැදගත් පියවරක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button