ප්‍රධාන පුවත්

නව බස් ගාස්තු රථය තුල ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව සංශෝධනය කළ නව බස් ගාස්තු බස් රථ තුළ පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කරයි. එම අධිකාරිය නිකුත් කළ නිවේදනයකට අනුව, මගී සේවා අවසර පත්‍ර කොන්දේසි 16(A) යටතේ මෙම නියෝගය ක්‍රියාත්මක වේ.

බස් රථය තුළ නව ගාස්තු ප්‍රදර්ශනය නොකළහොත් අදාළ බස් රථවල බලපත්‍ර තාවකාලිකව හෝ ස්ථීරව අවලංගු කිරීමට හැකි වන අතර, ඒ සමඟ දඩ මුදල් පැනවීමටද කටයුතු කරන බව සඳහන්ය. මේ පිළිබඳව විශේෂ වැටලීම් ද ආරම්භ කිරීමට නියමිත බවත් අධිකාරිය වැඩිදුරටත් පවසයි.

එසේම, නව ගාස්තු ප්‍රදර්ශනය නොකිරීම හෝ අනිසි ලෙස ගාස්තු අයකිරීම පිළිබඳ පැමිණිලි කිරීමට මගී ජනතාවට අවස්ථාව ලබාදී තිබේ. ඒ සඳහා 011 2860860 දුරකථන අංකය හෝ 070 2860860 වට්සප් අංකය භාවිතා කළ හැකිය.

පසුගිය 23 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12.19% කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කැබිනට් අනුමැතිය සමඟ තීරණය කළේය. එහිදී අවම බස් ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 30 දක්වා වැඩි කළ අතර, උපරිම ගාස්තුව රුපියල් 2,159 සිට රුපියල් 2,422 දක්වා රුපියල් 263කින් ඉහළ දමා ඇත.

නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, නියමිත ගාස්තු පමණක් මගීන්ගෙන් අයකරන ලෙසද කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබේ. නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අයකරන බස් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලබන බවද එය අවධාරණය කරයි.

ඒ අනුව, වැඩි ගාස්තු අයකිරීම පිළිබඳ පැමිණිලි 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 2595555 වට්සප් අංකයට යොමු කළ හැකි බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button