
අස්වැසුම දෙවන අදියරේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම් ඇරඹෙයි
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
එම නාම ලේඛනය අද (27) දින සිට දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.
මෙම ලේඛනය සම්බන්ධයෙන් යම් අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවත්, එය සිදුකිරීම සඳහා විවිධ නිල ක්‍රමවේද සකස් කර ඇති බවත් මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව, නාම ලේඛනය පිළිබඳ කිසියම් ගැටළුවක් ඇති පුද්ගලයින්ට අදාළ ක්‍රම අනුව තම අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද නිවේදනයේ සඳහන් වේ.
අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි ක්‍රම:
(1.) මාර්ගගතව (Online): https://eservices.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සෘජුවම අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කළ හැකිය.
– අයදුම්පත් මඟින්: www.wbb.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කර හෝ තම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්/ග්‍රාම නිලධාරීවරයාගෙන් අයදුම්පතක් ලබාගෙන, එය සම්පූර්ණ කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුය.
– තාක්ෂණික සහාය ඇතිව මාර්ගගතව ඉදිරිපත් කිරීම: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්රතිලාභ ඒකකයේ නිලධාරීන්ගේ තාක්ෂණික සහාය ඇතිව මාර්ගගතව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකිය.
(ii) ප්‍රදේශයේ බලයලත් සන්නිවේදන මධ්‍යස්ථාන (Communication Centers) මඟින්ද අභියාචනා සහ විරෝධතා මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.
විශේෂ දැනුම්දීම
(i) එක් පුද්ගලයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනයක් පමණි.
(ii) සුදුසුකම් ලත් පුද්ගලයන් සම්බන්ධයෙන් නුසුදුසුභාවය තහවුරු කරගැනීමට හැකිනම් පොදු මහජනතාවට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී. නිර්නාමිකවද විරෝධතා ඉදිරිපත් කළ හැකිය.
(iii) සියලුම අභියාචනා සහ විරෝධීතා 2026 අප්‍රේල් මස 10 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.



