ප්‍රධාන පුවත්

(EPF) ගනුදෙනු තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය නැහැ – අභියාචනාධිකරණ තීන්දුව

සේවක අර්ථසාධක අරමුදල (EPF) සම්බන්ධ ගනුදෙනු විස්තර මහජනතාවට හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය නොවන බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තීන්දුව නිකුත් කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව මීට පෙර ලබාදුන් තීරණයක් අහෝසි කරමින් වන අතර, එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගෙන තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා තිබුණි. එම ඉල්ලීම යටතේ ගනුදෙනු සිදුකළ දිනයන්, මිල ගණන්, ලාභදායිතාව සහ සම්බන්ධ පාර්ශ්වයන් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු තොරතුරු කිහිපයක් පමණක් හෙළිදරව් කරමින්, ඉතිරි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5(1) වගන්තිය යටතේ සඳහන් වාණිජමය වශයෙන් සංවේදී තොරතුරු ආරක්ෂා කිරීමේ විශේෂ ව්‍යතිරේඛයයි.

අභියාචනාධිකරණය විසින්ද එම ස්ථාවරය අනුමත කරමින් පෙන්වා දී ඇත්තේ, මෙම ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කිරීමෙන් තෙවන පාර්ශ්වයන්ට හානියක් සිදුවිය හැකි බවයි. විශේෂයෙන්ම එවැනි තොරතුරු හෙළිදරව් වුවහොත් EPF අරමුදල භාවිත කරන ආයෝජන උපායමාර්ගයන් අනාවරණය වීමට ඉඩ ඇති බව අධිකරණය සඳහන් කර ඇත.

එමඟින් රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළේ සහභාගී වන පාර්ශ්වයන්ට EPF ක්‍රියාමාර්ග පිළිබඳ පූර්ව පුර්වාපේක්ෂණයන් කර, තම ලංසු උපායශීලීව සකස් කිරීමට හැකි වන බවද නිරීක්ෂණය කර තිබේ. එවැනි තත්ත්වයක් හේතුවෙන් අරමුදලට තරගකාරී අවාසියක් ඇතිව, අවසානයේ එහි සාමාජිකයන්ගේ ලාභය අඩු විය හැකි බව අධිකරණය අවධාරණය කරයි.

තවද, සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට භාරකාරී වගකීමක් පවතින බවද මෙහිදී අවධාරණය කර ඇත. සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීමෙන් වෙළඳපොළ ස්ථාවරතාවටද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව අධිකරණය පෙන්වා දෙයි.

ඒ අතර, EPF අරමුදලේ විනිවිදභාවය සුරක්ෂිත කරනු ලබන්නේ වාර්ෂික වාර්තා, විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාවලිය සහ පාර්ලිමේන්තු අධීක්ෂණය වැනි පද්ධති හරහා බවද අධිකරණය සඳහන් කර ඇත.

අවසානයේ, මෙම තොරතුරු හෙළිදරව් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ, අරමුදලට සහ එහි දායකයන්ට සිදුවිය හැකි හානියට වඩා වැඩි බව පෙන්වාදීමට නොහැකි වූ බව අධිකරණය නිගමනය කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button