
බලශක්ති ඇමති ශරීර ඇප මත මුදාහැරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන් බව වාර්තා වේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු වූ අතර, මීට පෙර නිකුත් කළ සිතාසියකට අනුව විත්තිකරු අධිකරණයට පෙනී සිට තිබුණි.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළ අතර, ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියම කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ මෙම නඩුව අනුව, 2016 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පෞද්ගලික සමාගමකට අයථා වාසියක් සැලසීම හේතුවෙන් රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, මෙම ක්‍රියාවලිය මඟින් අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දූෂණය’ යන වරද සිදු කළ බවටද විත්තිකරුට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කර තිබේ.



