ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා, ජපාන ආරක්ෂක අමාත්‍යවරුන් අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

 

දෙරට අතර ආරක්ෂක සහජීවනය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගියදා ටෝකියෝ නුවර ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

 

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි ( Shinjirō Koizumi )මහතා එක්වූ අතර, සමුද්‍රීය ආරක්ෂාව, ආපදා කළමනාකරණ හැකියාවන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය වර්ධනය කිරීම වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණි.

එහිදී ජපාන පාර්ශවය “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්” දැක්ම යටතේ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඊට ප්‍රතිචාර ලෙස අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකාවට හිමි භූගෝලීය වැදගත්කම සහ සමුද්‍රීය ආරක්ෂාව සුරැකීමේ භූමිකාව සලකා, ජාත්‍යන්තර නීති හා සම්මුතීන්ට අනුකූලව කලාපීය සාමය වෙනුවෙන් කැපවී සිටින බවයි.

එමෙන්ම, ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂක බළකායේ JS Onami නෞකාව මෑතකදී කොළඹ වරායට පැමිණ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වූ ඒකාබද්ධ නාවික අභ්‍යාසය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

අනාගතයේදී ඒකාබද්ධ නාවික අභ්‍යාස, නෞකා සංචාර, පුහුණු වැඩසටහන් සහ මානුෂීය ආධාර හා ආපදා සහන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇත.

තවද, ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති තාක්ෂණික සහාය—විශේෂයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ කාලගුණ අනාවැකි පද්ධති ශක්තිමත් කිරීම—සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පාර්ශවය කෘතඥතාව පළ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button