
මිහින්තලයේදී ජර්මානු සංචාරක කාන්තාවකට ලිංගික අපයෝජනයට උත්සාහයක්
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරය පුදබිමේදී ජර්මානු ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුරාවිද්‍යා කම්කරුවෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජර්මානු තරුණිය පසුගිය සිකුරාදා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, අද (16) දින ඇය මිහින්තලා රජමහා විහාරය වෙත ගොස් චෛත්‍ය වන්දනා කිරීමට ගොස් ඇති බව වාර්තා වේ.
එහිදී සැකකාර පුද්ගලයා විසින් ඇය ලිංගික අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර ඇති බව මූලික පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම අවස්ථාවේදී මිහින්තලය වන්දනා කිරීමට පැමිණ සිටි පිරිසකට ඇය කෑ ගසන හඬ ඇසී ඇති අතර, ඔවුන් වහාම සිද්ධිය සිදු වූ කැලෑ ප්‍රදේශය වෙත දිව ගොස් තිබේ.
එම පිරිස පවසන්නේ, ඒ වන විට සැකකරු සිය ටී-ෂර්ට් එක භාවිත කරමින් එම තරුණියගේ ගෙල සිර කරමින් සිටි බවයි. පසුව ඔවුන් මැදිහත් වී එම තරුණිය බේරාගැනීමට කටයුතු කළ බව ද සඳහන් වේ.
ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
පසුව එම විදේශීය කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් වලහැඟුණු වැවේ ධම්මරතන හිමි සඳහන් කළේ, මිහින්තලා පුදබිමේ ස්ථිර පොලිස් ආරක්ෂාවක් නොමැති වීම මෙවැනි සිදුවීම් ඇතිවීමට හේතුවක් විය හැකි බවයි.



