ප්‍රධාන පුවත්

මෙරට සිටින අමෙරිකානුවන්ට විශේෂ දැනුම්දීමක් – ගුවන් ගමන් බාධා අතර දින 14ක නොමිලේ වීසා දිගුවක්

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.

එම දැනුම්දීමේ සඳහන් වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවද, මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග කිහිපයක් වසා දමා තිබීම හේතුවෙන් ලෝක ගුවන් ගමන් තවමත් දැඩි ලෙස බාධා වී ඇති බවයි.

කෙසේ වෙතත් මැදපෙරදිග හරහා නොයන වාණිජ ගුවන් ගමන් කිහිපයක් භාවිතා කිරීමට හැකියාව පවතින බවත්, ගුවන් ගමන් ප්‍රමාද වීම හෝ අවලංගු වීම පිළිබඳ තොරතුරු ලබාගැනීමට තම ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ වන ලෙසත් එම තානාපති කාර්යාලය උපදෙස් ලබාදී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය විසින් මෙරට සිටින සංචාරකයින්ට විකල්ප පිටත්වීම් සැලසුම් කර ගැනීමට අවස්ථාව සලසමින් දින 14ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමටද පියවර ගෙන ඇති බව සඳහන් වේ.

හදිසි සහාය අවශ්‍ය වන අවස්ථාවලදී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අමෙරිකානු පුරවැසි සේවා අංශය (+94 11 202 8500) හරහා සම්බන්ධ විය හැකි අතර සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 1.00 සිට 2.00 දක්වා කාලය තුළ එම සේවාව ලබාගත හැකි බවද දැනුම්දී තිබේ.

තවද ගුවන් ගමන් සම්බන්ධ වෙනත් තොරතුරු සඳහා ශ්‍රී ලංකා සංචාරක දුරකථන අංකය වන 1912 අමතා තොරතුරු ලබාගත හැකි බවද සඳහන් කර ඇත.

නවතම ආරක්ෂක යාවත්කාලීන තොරතුරු සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය නාලිකා අනුගමනය කරන ලෙසද පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button